
CA Sri Lanka සිය නායකත්වය නැවතත් තහවුරු කරමින් වරලත් ගණකාධිකාරීවරුන්ගේ 43 වැනි ජාතික සමුළුව අරඹයි
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති පෙර නොවූ විරූ අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ, රට මෙන් ම ජනතාව පත් වී ඇති ආර්ථික ගැටලුවෙන් මුදා ගැනීම සඳහා විනිවිද භාවය හා වගවීම තුළින් පරිවර්තනීය වෙනසක් සිදුකිරීම අත්‍යවශ්‍ය මොහොතක, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් පසුගිය බදාදා සිය වරලත් ගණකාධිකාරීවරුන්ගේ 43 වැනි ජාතික සමුළුව උත්සවාකාරයෙන් ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාරික සමුළුව ලෙස සැලකෙන වරලත් ගණකාධිකාරීවරුන්ගේ 43 වැනි ජාතික සමුළුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එහි ප්‍රධාන දේශනය ජෛව විද්‍යාඥ රොහාන් පෙතියාගොඩ මහතා විසින් පවත්වන ලදී. මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී පැවැත්වුණු මෙම සමුළුවේ සමාරම්භක උත්සවයට ව්‍යාපාරික ප්‍රධානීහු, c-suite විධායකයෝ හා ගණකාධිකරණ ක්ෂේත්රයේ ඉහළ පෙළේ වෘත්තිකයෝ ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.
මෙම උත්සවයට CA Sri Lanka ආයතනය නියෝජනය කරමින්, එම ආයතනයේ සභාපති සංජය බණ්ඩාර , හේෂණ කුරුප්පු , ජාතික සම්මන්ත්රණ කමිටුවේ සභාපතිනිය අනෝජි ද සිල්වා, ජාතික සම්මන්ත්රණ තාක්ෂණ කමිටුවේ සභාපති අනුර පෙරේරා සහ ප්‍රධාන විධායක නිලධාරිණී දුලානි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
‘තනි තනිව, සාමාජීයව, ආයතනිකව මෙන් ම රටක් ලෙස වෙනස් වෙමු’යන කාලෝචිත තේමාව යටතේ තෙදිනක් පුරා පැවැත්වුණු මෙම උත්කර්ෂවත් උත්සවයට දෙස් විදෙස් නියෝජිතයින් 2000 කට අධික පිරිසක් සහභාගි වූ අතර, කථිකයෝ 15 කට අධික සංඛ්‍යාවක් දේශන පැවැත්වූහ. ඔක්තෝබර් 13 සහ 14 යන දෙදින පැවැත්වුණු වැඩසටහන් අතර, තාක්ෂණික සැසිවාර මෙන් ම උපායමාර්ගික ක්ෂේත්‍ර පරිවර්තනය, සාමාජීය පරිවර්තනයකට අමතරව පෞද්ගලිකව වෙනස් වීම, වෘත්තිකයන් හා පුරවැසියන් ලෙස පරිවර්තනය වීමේ මූලික අවශ්‍යතාව සහ සමස්ත ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස වෙනස් වීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කරමින් සැසිවාර කිහිපයක් පැවැත්වුණි.
මෙහි දී අදහස් දැක්වූ CA Sri Lanka ආයතනයේ සභාපති සංජය බණ්ඩාර මහතා කියා සිටියේ මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම්, ජාතියක් ලෙස එක්ව ඉදිරියට ගමන් කළ යුතු බවයි. “බොහෝ විට, අප පෞද්ගලිකව වෙනස් වීමට කැමති නැති වුණත්, සමස්ත වෙනසක් අපේක්ෂා කරනවා. ඒ නිසා ම මෙම සමුළුව හරහා අපගේ වරලත් ගණකාධිකාරීවරුන් තුළ වගේ ම අනෙකුත් වෘත්තිකයින් අතරත් නව චින්තන සංස්කෘතියක් ගොඩනැංවීමට අපි බලාපොරොත්තු වෙනවා.”
වරලත් ගණකාධිකාරීවරුන් සෑම විට ම සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගිය චින්තන රටාවක් හිමි වෘත්තිකයින් පිරිසක් බවත්, බොහෝ ආයතනවල සාර්ථකත්වයට එය බෙහෙවින් බලපා ඇති බවත් බණ්ඩාර මහතා එහි දී අවධාරණය කළේය.
“ආයතනයක සාර්ථකත්වයට වගේ ම එය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් ගණකාධිකරණ වෘත්තිකයින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව අප කවුරුත් හොඳින් ම දන්නා කරුණක්. එම නිසා පවතින අර්බුදයෙන් රට ගොඩගැනීමට අපගේ සුවිශේෂී සහයෝගය අවශ්‍යමයි” යනුවෙන් බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසීය. කෙසේ වෙතත්, ගණකාධිකරණ වෘත්තියට ජාතියේ වර්ධනය වෙනුවෙන් තවත් බොහෝ දේ කළ හැකි නිසා, ආචාර ධර්ම, විනිවිදභාවය හා වගවීම යන මූලික ගුණාංගයන් සමඟ ශක්තිමත් පදනමක් ගොඩනැංවිය යුතු බව ද බණ්ඩාර මහතා අවධාරණය කළේය.
“මෙම මූලික කරුණු ක්‍රියාත්මක නොවන්නේ නම්, අප බලාපොරොත්තු වන පරිවර්තනීය වෙනස ඇති කළ නොහැකියි. එම නිසා අප වෙනුවෙන් වගේ ම අනාගත පරපුර වෙනුවෙන් මෙම පරිවර්තනීය වෙනස කරා රට ගෙන යාම අපගේ වගකීමක් බව සියලු ම දෙනා සිහි තබාගත යුතුයි.” යනුවෙන් බණ්ඩාර මහතා පැවසීය.
